Tuesday, December 31, 2013
රේල් පීලි
එකිනෙකාගෙන් වෙන් වී
සිල්පර කොට මඟින් එක් වී
නියත දුරකින්
වෙන්වීමක් නැති
එක්වීමක් නැති
කඳු හෙල් සම බිම් මැදින්
කඳුලත් සතුටත් අතර
උපේක්ෂාවෙන්
අනන්තයට යන ගමනක්.
Saturday, October 19, 2013
මා වයන්නේ...
දුර කඳු වැටි අතර පිහිටි
සම තණපිටියක සිට
මා වයන්නේ
මා සඳහායි.
කඳු මුදුනක වැදි ඒ හඬ
නැවත ඇසෙන විට
මා වයන්නේ
මා සඳහායි.
වින්දොත් ඔබ මා ගී හඬ
එය සතුටකි මට
එත් මා වයන්නේ
මා සඳහායි.
Wednesday, October 16, 2013
Sunday, August 11, 2013
Tuesday, April 23, 2013
හුස්ම
ඔබ ගමන් කල
මං මාවත් වල
ඔබට රහසින්
ඇවිද යමි මම
එවිට
ගනිමි මම ළය පුරා
ලොකු හුස්මක්
සොයමි මම එහි
ඔබේ සුවඳ
දකිමි ඔබේ ප්‍රාශ්වාසය
මගේ ආශ්වාසය හා
මුසුවන යුරු
බලන්නෙමි මම
සතුටු වන මගේ සිත දෙස
ඔබ හා මම
එකම හුස්මක්
බෙදාගෙන .....
බෙදාගෙන .....
Wednesday, April 3, 2013
නිදිකුම්බා
සුවඳ සමන් පිච්ච අතර
වියළි බිමේ තණ අතරේ
මඳ සුළඟට පිපී වැනෙන
සුවඳ නැතත් රෝස වගේ
කටු අරණේ නුඹ පිපුනේ
නුඹ නෙලන්න හැඩ බලන්න
Tuesday, April 2, 2013
පියාපත්
නිල් අහස් වියන් යට
සැරිසරන සියෝතුන්ගෙන්
කලාතුරකින් ගිලිහී වැටෙන
කලාතුරකින් ගිලිහී වැටෙන
පිහාටුවක් දෙස බලමින්
මා පැතුවේ
පාවී යන්නට එලෙසෙම ......
ජීවිතයේ අන්තිම දා
නටුවෙන් ගිලීහි ගිය විට
ලඳිමි මම ද පියාපත්
සුළඟ හා පාවී යන්නට
Sunday, March 31, 2013
නොලියු පදවැල්
Tuesday, February 19, 2013
සුදු රෝස
කවුළුව අසල
ආදරෙන් ඔබ වැවු
සුදු රෝස පැළයේ
පොහොට්ටුවක් ඇවිත් ......
හෙට උදෑසන වෙද්දී
නෙලා ගන්නම් මම
සරසන්න ඔබේ ගත
අවසන් වතාවට .....
උදෑසන බලන විට .....
Tuesday, February 12, 2013
සිහිනයක පාට
දුටිමි මම සිහිනයක්
දුර අහසේ මහ මුහුදේ
ගැඹුරු නිල් පාට ගැන
තුරු මුදුන් මත රැඳුනු
සොඳුරු කොළ පැහැය ගැන
ගඟ දියේ පෙන අතර
සිනාසෙන සුදු පැහැය
මල් ගොමු අතර සරනා
රෝස කහ තැඹිලි පැහැ
Wednesday, September 19, 2012
(අ)සීමා
කඩා බාධක
පැන කඩුළු වැට කොටු
යන්නට වෙර නැති
ගත
පසෙක තබා මම
ආලෝකයේ වේගයෙන්
සැරිසරමි මම
මට රිසි සේ
නිල් කඳු මුදුන් උඩින්
මහා සයුරේ රළ මතින්
සුනිල නිල් තණබිම් සිසාරා
හමන මුදු සුළඟක් ලෙසින්
මහා නගර මැදින්
හඬන හිනැහෙන මිනිසුන් ලඟින්
පාවී යමි මම
වර්ණ පිරි මනසක් සමගින්
Sunday, September 2, 2012
අහසේත් කටු කම්බි
කූඩුවේ ඉඩ මදියි ලත වුණා
සුව පහසු උණුසුමත් ඇති වුණා
නිල් අහස ගැන සිහින රජ වුණා
තටු විදා පියඹන්න සිත් වුණා
තටු ලැබුණු කල අහස වෙත ගියා
මිතුරු විහඟුන් සිටින තැන් සොයා
සිත් තුටින් සුළඟ හා මුසු වෙලා
සුදු වළාමතින් පියඹමී සිතා
ටික දුරක් යන කලෙක ඉගිළිලා
කොහේ යම්ද තවත් දුර පියඹලා
අහසේ මැද මහා පැවරු ඉදි වෙලා
කටු කම්බි සැම තැනම විසිරිලා
කටු කම්බි අතරින් මා රිංගලා
යන කලෙක කටු අතර ඇමිණිලා
සුදු තටු අතර රුහිරු මල් ඉහිරිලා
තව යන්න වාරු නෑ තටු සිඳිලා
නිල් අහස ගැන සිහින ඉහිරිලා
වරු ගෙන යන කලෙක ඉගිළිලා
මිතුරු විහඟුන් කොහෙද විසිරිලා
උන් ගිහින් දුර ඈත වෙන්වෙලා
Tuesday, August 21, 2012
සිහිනයක වැරදිකරු
සිනිඳු වැලි බිමක
අත්තිවාරමක් නොයොදා
සිහිනයක් මත සිහිනයක් තබා
දහසක් පැතුම් මැද
ඔබ ඉදිකළ සිහින මන්දිරය
මඳ සුළඟට ද සෙලවෙන මුත්
කඩා වැටෙතෙයි කියන්නට
දුක සිතුනු නිසා මා හට
චණ්ඩ මාරුත හමා
සලකුණු ද ඉතිරු නොවූ සද
ලොවම සමඟ හිඳ ඔබ
මට ඇගිල්ල දිගු කල විට
ඔහේ කරබා හිඳීමි මම
කතා කරන්නට කම්මැලි නිසා ...
Saturday, August 4, 2012
සඳට එරෙහිව
විත්තිකරුවෙකු සොයන නඩුවක
ජුරියට වී හිඳින්නට වූ කල
කළුවර අතරින් එබෙන පුරහඳ
ඇයි ද සරදම් තවත් මේ මට
කියාගන්නට කෙනෙකු නොමැතිව
තනිව හඬමින් සිටින හැමකල
එබී හිනැහුණ පුන් පුරාසඳ
දෙන්න පණිවිඩ ඔහුට මා ගැන
නොකීවෙන් ඔබ මා කියූ දෙය
නොමැත ඔහු මා අසල අද දින
සුසුම් මාරුත හමන මැදියම
සිනා නොමසෙන් තරු සමඟ හිඳ
ඔහු නොමැති සිත් අහස කළුවර
කුමන පල මට ඔබෙන් තව දුර
කලු වලාකුළු වසනු පුරහඳ
ජුරියද පැමිණිල්ල වූ කල
තවත් ගැලවුම් නුඹට නම් නැත
මා මුල කල නපුරු ඔබ මුව
අමවල ගිල ගනී ළඟදීම
Monday, July 23, 2012
සුළඟට කියූ ගී
වයන වස්දඬු රාවේ
ගයයි මා හද ගීතේ
මද සුළඟ මට හොර රහසේ
පවසන්න තාලේ...
පුංචි රන් සමනලයන්
මල් පොකුරු ළඟ හැඟී
සෙමෙන් කොදුරමින් ගයයි
සොදුරුතම ඒ ගීතේ ....
මල් වැස්ස හා එක්වී
පියනගනු මන ආයේ
අසා මා හද ගීතේ
එය ඔබෙයි මා ඔබගේ ...
Thursday, June 21, 2012
සිතුවිලි
විටෙක සිනිඳුව පාවෙන
වරෙක බරව කඩා හැලෙන
වළාකුළු සේ නෙක හැඩ ගෙන
සිත් අඹරේ ඔහේ සරන
සිතුවිලි....
පෙන පිඬු සේ සිනා නඟන
ගල් කුළු අතර හැපී බිඳෙන
ගලන ගඟක් සේ හඬා වැටෙන
සයුර හමුවන තෙක් ගලා බසින
සිතුවිලි....
ඇසුරු සැනින් පියාඹන
කතරේ නිල ගංගා මවන
විටෙක තෙත්
විටෙක වියළි
සිතුවිලි....
Subscribe to:
Posts (Atom)




.jpg)

















