Wednesday, January 15, 2014

හිස් තැනක්

හිස් තැනක් ?
බිය ගෙනෙනා තැනක් .

වදන් අතර හිස්තැනක්
ගෙනෙයි වචනයට තේරුමක්.
ස්වර අතරේ හිස්තැනක්
මවයි සංගීත ඛණ්ඩයක් .

හිස් තැනක් ?
නෙක රසය හැඟුණ තැනක්.

Tuesday, December 31, 2013

රේල් පීලි


එකිනෙකාගෙන් වෙන් වී
සිල්පර කොට මඟින් එක් වී
නියත දුරකින්
වෙන්වීමක්  නැති
එක්වීමක් නැති
කඳු හෙල් සම බිම් මැදින්
කඳුලත් සතුටත් අතර
උපේක්ෂාවෙන්
අනන්තයට යන ගමනක්.

Saturday, October 19, 2013

මා වයන්නේ...


දුර කඳු වැටි අතර පිහිටි 
සම තණපිටියක සිට 
මා වයන්නේ 
මා සඳහායි.

කඳු මුදුනක වැදි ඒ හඬ
නැවත ඇසෙන විට 
මා වයන්නේ 
මා සඳහායි.

වින්දොත් ඔබ මා ගී හඬ
එය සතුටකි මට 
එත් මා වයන්නේ 
මා සඳහායි.


Wednesday, October 16, 2013

මගේ කවිය


ප්‍රබල ඇරඹුමක්
වෙනස් අවසානයක්
දුර්වල කවියක්
ඔබ සිතුවාට වඩා
අවසානය වෙනස් නිසා

Sunday, August 11, 2013

තණකොළ



උදෑසන
ලා කොල පැහැති තණ
ගොම්මන කොල-කළු පැහැයෙන්.


තණ පතක පවා
පැහැය වෙනස් වෙයි
පතිත වන ඉර එළිය මත.

Tuesday, April 23, 2013

හුස්ම



ඔබ ගමන් කල 
මං මාවත් වල 
ඔබට රහසින් 
ඇවිද යමි මම 
එවිට 
ගනිමි මම ළය පුරා 
ලොකු හුස්මක්  
සොයමි මම එහි 
ඔබේ සුවඳ 
දකිමි ඔබේ ප්‍රාශ්වාසය 
මගේ ආශ්වාසය හා 
මුසුවන යුරු 
බලන්නෙමි මම 
සතුටු වන මගේ සිත දෙස 
ඔබ හා මම 
එකම හුස්මක් 
බෙදාගෙන .....

Wednesday, April 3, 2013

නිදිකුම්බා


නිදිකුම්බා නුඹත් මලක් 
සුවඳ සමන් පිච්ච අතර 
වියළි බිමේ තණ අතරේ 
මඳ සුළඟට පිපී වැනෙන 
සුවඳ නැතත් රෝස වගේ 
කටු අරණේ නුඹ පිපුනේ 
නුඹ නෙලන්න හැඩ බලන්න 
මටත් වුණා දණ නමන්න ......