Tuesday, August 21, 2012

සිහිනයක වැරදිකරු


සිනිඳු වැලි බිමක
අත්තිවාරමක් නොයොදා
සිහිනයක් මත සිහිනයක් තබා
දහසක් පැතුම් මැද
ඔබ ඉදිකළ සිහින මන්දිරය 
මඳ සුළඟට ද සෙලවෙන මුත් 
කඩා වැටෙතෙයි කියන්නට 
දුක සිතුනු නිසා මා හට 
චණ්ඩ මාරුත හමා
සලකුණු ද ඉතිරු නොවූ සද 
ලොවම සමඟ හිඳ ඔබ 
මට ඇගිල්ල දිගු කල විට 
ඔහේ කරබා හිඳීමි මම
කතා කරන්නට කම්මැලි නිසා ...

Saturday, August 4, 2012

සඳට එරෙහිව

 විත්තිකරුවෙකු සොයන නඩුවක 
ජුරියට වී හිඳින්නට වූ කල
 කළුවර අතරින් එබෙන පුරහඳ 
ඇයි ද  සරදම් තවත් මේ මට 

කියාගන්නට කෙනෙකු නොමැතිව 
තනිව හඬමින් සිටින හැමකල 
එබී හිනැහුණ පුන් පුරාසඳ 
දෙන්න පණිවිඩ ඔහුට මා  ගැන 

නොකීවෙන් ඔබ මා කියූ දෙය 
නොමැත ඔහු මා අසල අද දින 
සුසුම් මාරුත හමන මැදියම 
සිනා නොමසෙන් තරු සමඟ හිඳ

ඔහු නොමැති සිත් අහස කළුවර 
ඔබට එලි කල නොහැකි වූ කල 
කුමන පල මට ඔබෙන් තව දුර 
කලු වලාකුළු  වසනු පුරහඳ 

ජුරියද පැමිණිල්ල  වූ කල 
තවත් ගැලවුම් නුඹට නම් නැත 
මා මුල කල නපුරු ඔබ මුව 
අමවල ගිල ගනී ළඟදීම 

Monday, July 23, 2012

සුළඟට කියූ ගී


වයන වස්දඬු රාවේ 
ගයයි මා හද ගීතේ
මද සුළඟ මට හොර රහසේ  
පවසන්න තාලේ...

පුංචි රන් සමනලයන් 
මල් පොකුරු  ළඟ හැඟී 
සෙමෙන් කොදුරමින් ගයයි
සොදුරුතම ඒ ගීතේ ....

මල් වැස්ස හා එක්වී
පියනගනු මන ආයේ
අසා මා හද ගීතේ 
එය ඔබෙයි මා ඔබගේ ...

Thursday, June 21, 2012

සිතුවිලි


විටෙක සිනිඳුව පාවෙන
වරෙක බරව කඩා හැලෙන 
වළාකුළු සේ නෙක හැඩ ගෙන  
සිත් අඹරේ ඔහේ සරන
සිතුවිලි....
පෙන පිඬු සේ සිනා නඟන
ගල් කුළු අතර හැපී බිඳෙන 
ගලන ගඟක් සේ  හඬා වැටෙන
සයුර හමුවන තෙක් ගලා බසින 
සිතුවිලි....

ඇසුරු සැනින් පියාඹන 
කතරේ නිල ගංගා මවන 
විටෙක තෙත්
විටෙක වියළි
සිතුවිලි....